දහම් පාසලක් යනු



දහම් පාසල.
  • දහම් පාසලක් යනු.

ධර්මය උගන්වන සහ ධර්මය ඉගෙන ගන්නා ආයතනයකි, දහම් පාසල. කුඩා අවදියේ සිට බෞද්ධ දුවාදරුවන් ට බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම දහම් පාසල තුළින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණකි. දහම් අධ්‍යාපනය ලබන දරුවන් ට ජීවිතය සහ ජීවිතයේ යථා ස්වරූපය පැහැදිලි ලෙස අවබෝධ කරවීම දහම් පාසලකින් විය යුතු ප්‍රධාන වගකීමකි.


  • දහම් පාසලක තිබිය යුතු අරමුණු. 

බුදුදහමේ හරය පිළිබඳ බෞද්ධ දරුවා තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැගිය යුතු ය. හරය නිස්සාරවත් නම්, ශක්තිමත් නැති නම්, වටේ ඇති දෙය කොපමණ අලංකාර කළ ද, පිරිසිඳු කළ ද, එයින් පලක් නැත. කුඩාකල සිට දහම් පාසල වෙත පැමිණ දහම් අධ්‍යාපනය ලබාගන්නා දරුවා තුළ යම් ආකාරයක වැරදි ආකල්පයක් ඇති වුවහොත් හෝ ඇති කළහොත් එය එ ම දරුවා ගේ ජීවිත කාලය පුරාවට ම දැඩි ලෙස බලපෑමක් එල්ල වනු ඇත. කුඩා කල සිට ගසකට වැඩීම සඳහා අවැසි ජලය, වාතය, හිරු එළිය ආදී දෑ නිසි කල ට නිසි ලෙස ලැබුණහොත් එය අනාගතයේ සාරවත් දැවැන්ත වෘක්ෂයක් බවට පත්වනු ඇත. කුඩාකල සිට ම බුදුදහමේ හරය ක්‍රමානුකුල ලෙස දරුවන් වෙත කියා දීම දහම් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණකි.



බෞද්ධ සංස්කෘතිය, සාරධර්ම, සිරිත් විරිත් සියල්ලක් ම දරුවා ට කියාදෙන සහ කියාදිය හැකි එක ම ස්ථානය දහම් පාසල යි. දැනුම පාසලකින් හෝ අධ්‍යාපන ආයතනයකින් හෝ අවශ්‍ය නම් මුදලට පවා ගත හැකි නමුදු සාරධර්ම, සිරිත් විරිත් උගත හැකි වන්නේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් ම පමණකි. දහම් පාසල සහ සාමාන්‍ය පාසල අතර ඇති ප්‍රධාන වෙනස නම් එය යි. එ බැවින් කුඩා කල සිට සාරධර්ම, ගුණධර්ම නිසි ලෙස දරුවන් ට කියා දීම දහම් පාසලක තව ත් එක් ප්‍රධාන අරමුණකි.


  • වර්තමාන අධ්‍යාපන රටාව සහ දහම් පාසල.

විභාග සහ සහතික පත්‍ර පමණක් ඉලක්ක කර ගත් වර්තමාන අධ්‍යාපන රටාව අදවන විට බොහොමයක් දහම් පාසල් ද, ගිලගෙන ඇති බව අප ට පැහැදිලි වේ. අද බොහෝ විට ළමයින් දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සහතිකයක් ලබා ගැනීමට මිස ගුණධර්ම හෝ සාරධර්ම හෝ ඉගෙනීමට නො වේ.  පාසලේ දී අපට ඉගෙනීමට සිදු වී ඇත්තේ බටහිර අධ්‍යාපන ක්‍රමය යි. විභාගය සහ විභාග සහතිකය මත පදනම් වූ මෙ ම අධ්‍යාපන ක්‍රමය දහම් පාසලට ගෙන යාම ආගම පිළිබඳ හැඟීමක් ඇති බෞද්ධයන් වන අපට කෙ සේ වත් එකඟ විය නො හැකි ක්‍රියාවකි. මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අද දහම් පාසල් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ද බිඳ වැටී ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධයන්ට පොහොය දිනකටවත් පන්සල් යාමට අවකාශ නැත. මක්නිසාද යත් මේ තරගකාරී සමාජය තුළ මිනිසුන් යාන්ත්‍රික වී ඇත. එසේ සිදුවී ඇත්තේ මේ අධ්‍යාපන රටාව නිසයි. අතීතයේ ලක්දිව තුළ එතරම් භෞතික දියුණුවක් නොතිබුණ ද ඉතා උසස් ආධ්‍යාත්මික දියුණුවක් තිබුණි. වර්තමාන අධ්‍යාපන රටාවෙන් සිදුවන්නේ මිනිසාව දැනුමින් පෝෂණය කිරීමයි. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමයට කිසිම දෙයක් පිළිබඳව යථාවබෝධයක් ලබා දිය නොහැක. අතීතයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මීට වඩා බෙහෙවින් සාර්ථක විය.



බෞද්ධ ධර්ම කරුණු කටපාඩම් කරවීම හෝ සාරධර්ම ලැයිස්තුවක් ලියා කටපාඩම් කරවීම දහම් අධ්‍යාපන නො වේ. එයින් අදහස් කළේ පාඩම් කර ගැනීම මතක තබාගැනීම නො කළ යුතු දෙයක් ලෙස නො වේ. ප්‍රධානත්වය දිය යුත්තේ දහම් අධ්‍යාපනය පිළිබඳ සහ සාරධර්ම පිළිබඳ ඇති දැනුම ප්‍රායෝගිකත්වය ට ගොඩනගා ගන්නා ආකාරය පැහැදිලි කරවීම යි. ජීවිතයට ගලපා ගැනීම යි.


අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කළ ‘යේ ධම්මා හේතුප්පභවා.....’ යන ගාථාවේ පළමු පද දෙක ඇසීමෙන් ම සෝවාන් භාවයට පත් වූයේ එ ම පද දෙක පාඩම් සිටීමෙන් නොව එ ම ගාථාවේ තේරුම අවබෝධ කරගත් නිසා ය. එ මෙන් ම චුල්ලපන්ථක තෙරුන්ට ගාථා පාඩම් නො වීම නිසා මහපන්ථක තෙරුන් උන්වහන්සේ ව පන්සලෙන් පිටුවහල් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට සුදුරෙදි කඩක් දී ‘රාජෝ හරණං’ කියමින් එය පිරිමැදීමට උපදෙස් දුණි. ඒ ඔස්සේ සිත යොමු කිරීමෙන් උන්වහන්සේ අරහත් භාවයට පත් විය. එ මෙන් තමන් ඉගෙන ගත් දේ පිළිබඳ යථාවබෝධ තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විශාල පිරිසකට නිවන් මඟ කියා දුන්නේ ධර්මය කටපාඩම් කරවීමෙන් නො ව ධර්මය අවබෝධ කර ගැනීමට සැලැස්වීමෙන් ය. එ ම නිසා තමන් කරන කියන දේ පිළිබඳව මනා අවබොධයක් නොමැති ව එ හි දියුණුවක් ද බලාපොරොත්තු විය නො හැකි ය. මේ අනුව ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් බුදුන් වහන්සේ බුදුදහමේ හඳුන්වා දී ඇත. එ මෙන් ම ගුරුවරුන්ට හොඳ ම ආදර්ශමත් චරිතය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්විය හැක. පාඩම් කර විභාග ලිවීමේ මෙ ම අධ්‍යාපන ක්‍රමය කොහෙත්ම සාර්ථක නැත. මක් නිසාද යත් පාඩම් නො කර මෙ ම විභාග සමත් විය නො හැකි නිසා ය. බුදුරජාණන් වහන්සේ සුදුස්සන් තෝරාගෙන තනතුරු පිරිනැමුවේ මෙ වැනි තරගකාරී විභාග පැවැත්වීමෙන් නො වේ.
එ මෙන් ම බටහිර රටවල් තුළින් ද ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථක භාවය ඔප්පු කර පෙන්විය හැකිය. බටහිර රටවල් තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් සමහරෙක් මෙ ම අධ්‍යාපන ක්‍රමය තුළින් දක්ෂ ලෙස අධ්‍යාපනය ලැබූවන් නො වේ. එ වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් බිහි කිරීමට මෙ ම අධ්‍යාපන ක්‍රමයට නො හැකි විය. එ බැවින් මෙ ම අධ්‍යාපන ක්‍රමය සාර්ථක එකක් නො වේ. නො එසේ නම් ඇල්බට් අයිස්ටයින් වැනි ශ්‍රේෂ්ඨ බටහිර විද්‍යාඥයන් මෙ ම අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු ව තිබුණි. නමුත් මෙ ම අධ්‍යාපන රටාව මගින් සිදුකළේ අදක්ෂයන් යැ යි කියා ඔවුන් ව පාසල්වලින් ඉවත් කිරීම යි.

මෙ හි වඩාත් ශෝචනීය තත්ත්වය වන්නේ මෙ ම අධ්‍යාපන රටාව බෞද්ධ දහම් පාසල තුළටත් නොයෙක් ආකාරවලින් ගෙන යෑම යි. බටහිර අධ්‍යාපනය ඉස්මුදුනින් පිළිගත් සමහර බෞද්ධයන් විසින් මෙය දහම් පාසල තුළට ගෙනයාම තුළින් සිදුවන්නේ බෞද්ධයන් අතින් ම බුදුදහම විනාශ වීමයි.



  • දහම් පාසල් තරඟ සහ විභාග 

දහම් පාසල යනු තරඟකාරීත්වක් නොමැති විය යුතු ස්ථානයකි. බුදුදහම තුළ තරඟයක් කිසිසේත් අවශ්‍ය නැත. නමුත් දහම් පාසල් මට්ටමින් විභාග පවත්වා කොතරම් දුරට දරුවා සාර්ථක ද, නැති ද, යන වග තීරණය කිරීම සඳහා යොදා ගැනීම වරදක් නො වේ. මෙ හි වරදක් ඇති වන්නේ තරඟයක් බව ට පත් වුවහොත් පමණකි.

මෙම තරග පැවැත්වීම නිසා එකිනෙකා තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමිත්වය වැනි හැඟීම් ඇතිවේ. මේවා යහපත් ගුණාංග නොවේ. මෙ සේ බුදුදහම රැක ගැනීමට සිටින අය බුදුදහමේ පිරිහීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම හදවතින්ම බුදුන් සරණ ගිය පිරිසගේ බලවත් කනගාටුවට කරුණකි. දාන, ශීල, භාවනා ආදී පුණ්‍යක්‍රියා සඳහා දරුවන් සහභාගී කරවීම ත්, දහම් අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයකි. ඒ උදෙසා සියලු දහම් පාසල්, සංවිධාන සක්‍රීය ලෙස ක්‍රියාත්මක විය යුතු ව ඇත.


තෙරුවන් සරණ යි!